Know Your Art Supplies, Tutorials

චිත්‍ර අඳින්න ඉහළ ගුණයේ අමුද්‍රව්‍ය අවශ්‍යමද?

ඔබ චිත්‍ර කලාවේ කුමන අවධියක සිටියත් අමුද්‍රව්‍ය හා ඒවාට වියදම් කරන ප්‍රමාණය පිලිඹඳ විවිධ අදහස් දැරීය හැක. වෙලඳ පොලේ අහසට පොලව මෙන් වෙනස් මිල ගණන් ඇති අමුද්‍රව්‍ය දක්නට පුළුවන් . එක් සන්නාමයක පාට ටියුබ් එකක් ගන්න මිලට තව එකක පාට දොලහේ පෙට්ටියක් ගන්නට පුලුවන්. එකක පින්සල් සෙට් එකක් ගන්න ගානට තව එකක පින්සලක්වත් ගන්න බැරි වෙන්න පුලුවන්.

චිත්‍ර කලාව, සැපයුම් කර්මාන්ත හා සන්නාම

අපි දන්නවා ලෝකයේ චිත්‍ර කලාව හොඳින්ම අඛන්ඩ ව්‍යාප්තියකට ලක් උනේ යුරෝපයේ. ලෝකයේ වෙනත් තැන් වල, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පවා විවිධ කාල වකවානු වල චිත්‍ර ශිල්පයේ උන්නතියක් පැවතුනත්, සම්භාව්‍ය ග්‍රීක-රෝමානු යුගයේ සිට යුරෝපීය පුනුරුදය ඔස්සේ නූතන, පශ්චාත් නූතන යුග පසුකර අද දක්වා කලාවක් හා ඒ සමඟ බිහිවුන කර්මාන්තයක් හැටියට පරිණාමය උනේ යුරෝපයේ හා නව ලෝකය ලෙස යුරෝපීයන්ගෙන් මූලාරම්භ වූ ඇමරිකාවේ.

ඒ විදිහට පැතිරුන චිත්‍ර ශිල්පය සඳහා සැපයුම් කර්මාන්තය හා එම සන්නාම සමහරක් අවුරුදු සිය ගණනක් පැරණි පාරම්පරික දැනුම මුසු වූ ව්‍යාපාර. ඒ වගේම දිගු කාලීන පර්යේෂන හා සොයාගැනීම් ඔස්සේ ඉහල තාක්ෂණික නිෂ්පාදන ක්‍රියාවලි ගොඩනගා ගත් අය. හැබැයි මේකෙන් කියවෙන්නේ නැහැ බටහිර සන්නාම විතරයි එහෙම ගුණාත්මක බව වැඩි කියලා. ආසියාතික රටවල විශේෂයෙන් ජපානය හා දකුණු කොරියාවෙන් එන ඉහල ගුණාත්මක සන්නාම තියෙනවා.

ලංකාව ගැන කතා කලොත්, ලෝක ඉතිහාසයේ අද්විතීය චිත්‍ර ශිල්පයක්, අමුද්‍රව්‍ය තාක්ෂණයක් පැවතුන රටක්. සීගිරි, දඹුලු සිතුවම් වල සිට නුවර යුග්යේ විහාර සිතුවම් දක්වා විවිධ ශෛලීන් වලින් නිර්මාණය වූ චිත්‍ර අදත් අපිට එලෙසම දක්නට ලැබෙන්නේ මෙම පාරම්පරික ඥාණය හා ස්වභාවික සංඝඨක භාවිතයෙන් නිපදවා ගත් වර්ණ හා තාක්ෂණ ක්‍රම ඒ සඳහා භාවිතා කර නිසයි. අවාසනාවකට එළෙස මුඛ පරම්පරාගතව රැගෙන ආ දැණුම කර්මාණ්තයක්, නිෂ්පාදන ක්‍රියාවලියක් විදිහට පරිණාමය උනේ නැහැ. නුවර යුගයෙන් පසු ඒවා ක්‍රමයෙන් අතුරුදහන් උනේ මේ හේතුව නිසයි.

හොඳයි අපි බලමු ගුණාත්මකභාවය වැඩි අමුද්‍රව්‍ය වලින් ඔය කියන තරම් වාසියක් ලැබෙනවද කියලා.

1. වර්ණක (Pigments)

ඉහල ගුණාත්මක පාට සෑදීමේදී සාම්ප්‍රදායික ක්‍රමයට ස්වභාවික වර්ණක හැකිතාක් භාවිතා කරනවා. උදාහරණයක් ලෙස රෝ අම්බර් සඳහා භාවිතා කරන්නේ අයන් ඔක්සයිඩ් හා මැන්ගනීස් අඩංගු පාංශු වර්ගයක්. මේවා හමුවන්නේ ලොව තැන් කීපයක් පමණක් නිසා මිල ගනන් එතරම් පහසු නැහැ. මෙවැනි වර්ණක පාවිච්චි කිරීමේදී අත්දකින්න පුළුවන් මේවායින් ලැබෙන වර්ණ් වල ත්‍රීව්‍ර භාවය (Colour intensity) කෘතිමව හදන වර්ණ වලින් ලබාගන්න බැහැ කියලා. ඒ වගේම තමා සියවස් ගණන් නොවෙනස්ව පැවතීමේ හැකියාව. ඒ වගේම වර්ණ භාවිතයේදී ඒවා හැසිරෙන ආකාරය, වැඩි ඉඩක් ආලේප කිරීමේ හැකියාව, කොටින්ම කිව්වොත් සම කරන්න බැරි අත්දැකීමක් ඔබට ලැබෙනවා.

2. සංරක්ෂණ හැකියාව (Archival Quality)

ඉහත සඳහන් කර පරම්පරා ගණනාවක් වර්ණ නොවෙනස් වීමෙ ගතිය ඉහල ගණයේ අමුද්‍රව‍ය වල ලක්ෂණයක්. මෙම හැකියාවට එක් හේතුවක් තමයි ආලෝකයට නිරාවරණය වීමේදී පාරජම්බුල කිරණ මගින් වර්ණ නොවෙනස්ව පැවතීමේ ගුණය (Lightfastness) මේවාට තියෙනවා. එම අගය බොහෝවිට සම්මත පරිමාණ අගයක් (Lightfastness rating) ලෙස මේවායේ සඳහන් වෙනවා. Lightfastness ගැන අපි වෙනම ලිපියකින් ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

3. ආස්වාදය

කලින් සඳහන් කර ආකාරයට හොඳ වර්ණක සමඟ වැඩකරන විට, හොඳ පින්සලකින් වර්ණ් ගැන්වීමේදී, උසස් තත්වයේ කඩදාසි, කැන්වස් වල අඳින විට වර්ණ හැසිරෙන ආකාරය හා නිමාව සාමාන්‍ය අමුද්‍රව්‍ය වලට සම කරන්න් බැහැ. හරියට හොඳ ස්පෝට්ස් කාර් එකක් පදිනවා වගේ. අනික සමහරක් ශෛලීන් ප්‍රගුණ කරන්න හොඳ අමුද්‍රව්‍ය අත්‍යාවශ්‍යයි.

4. ශිල්පීය නිමාව (Workmanship)

හොඳ සන්නාම වල නිෂ්පාදන හැමවිටම ඉහල නිමාවකින් පැමිනෙනවා. පින්සලක් ගත්තොත් ඒක නිමවා ඇති අමුද්‍රව්‍ය, කෙඳි අමුනා ඇති ආකාරය, පාට කිරීමේදී හැසිරෙන ආකාරය හැමවිටම ඉහල තත්වයේ පවතිනවා. දිගු කලක් හැඩය නොවෙන්ව පවතිනවා. රාමුවේ ඇදි කැන්වස් එකක් ගත්තොත්, රාමුව්වට භාවිතා කරන ලී වර්ගය, එහි මැද දාර කැන්වසයේ නොගෑවෙන්න නිමවා ඇති ආකාරය දක්නට පුලුවන්. මේ නිසා භාවිතයේදී ප්‍රශ්ණ ඇති නොවීමත් දිගු කාලීන පැවැත්මත් වාසි විදිහට අපට ලැබෙනවා.

5. දිගුකාලීන ඉතිරිය

උසස් තත්වයේ අමුද්‍රව්‍ය සඳහා මුලින් තරමක් වැඩි මුදලක් යොදවන්න ඔනේ බව ඇත්ත. හොඳ වර්ණක වලින් හැදුව පාටක් ගත්තොත්, ඒවායේ වර්ණක ගණත්වය (pigment density), සරළව කිව්වොත්, සායම් බිඳක් තුළ අඩංගු වර්ණක අංශු ප්‍රමාණය ලාබ සායම් වලට වඩා අධිකයි. ඒ නිසා අඩු සායම් ප්‍රමාණයකින් වැඩි ඉඩක් ආවරණය කරන්න පුලුවන්. තවත් බලන්න ඔනේ පැත්තක් තමයි කල් පැවැත්ම. ලාබෙට ලැබෙන සායම් කල් යනකොට කුඩු හැලෙන්න, ඉරිතලන්න, පාට වෙනස් වෙන්න පුලුවන්. වෙලඳපොලේ අඩු මිලගනන් වලට කැන්වස් ගන්න පුලුවන්. හැබැයි ඒවා නිමකරලා තියෙන රාමු අවුරුදු කීපයකින් දිරන්න, ඇද ගහන්න, වේයන් බෝ වෙන්න පුලුවන්. කැන්වස් එක ප්‍රයිම් කිරීමේදී ජෙසෝ ප්‍රයිමර් වෙනුවට වෙනත් බාල ආලේපන හෝ බිත්ති තීන්ට භාවිතා කර තිබෙන්න පුලුවන්. මේවායින් සමහර ප්‍රශ්න වලට පිලියම් යොදන්න බැහැ. පුලුවන් ඒවාට අධික වියදමක් දරන්න වෙනවා. ඒ අවදානම් සියල්ල මුලින්ම හොඳ අමුද්‍රව්‍ය භාවිතයෙන් මගහරවාගන්න පුලුවන්.

6. නිර්මාණ සඳහා වටිනාකමක් එකතුවීම

කලා නිර්මාණයකට වටිනාකම එක් වන්නේ එහි ඇති නිර්මාණ කුශලතාවය, සංකල්පය හා ශිල්පියාගේ කීරිතිය කියන ගුණාංග මත තමයි. ඒ එක්කම බලන්න ඔනේ නිර්මාණයක් ඉහල වෙළඳපල අගයක් ලබා ගැනීමේදී එය මිලදී ගන්නා පාරිභෝගිකයා/කලා රසිකයා හට සාධාරණයක් ඉටු කරන්න ඕනේ. ඔබ බාල අමුද්‍රව්‍ය යොදවා නිර්මාණයක් කර එය ඉහල අගයකට අලවි කලහොත්, කල් යාමේදී අප ඉහත සඳන් කර ආකාරයේ ප්‍රශ්ණ ඇති වුවහොත් වන්නේ කුමක්ද? හානිය සිදුවන්නේ එම කලා නිර්මාණයට පමණක් නෙමෙයි, ඔබගේ කීර්ති නාමයටත් එමගින් වන හානිය තක්සේරු කරන්න බැහැ. විශේෂයෙන් කියන්න ඔනේ මේ ආකාරයට නිර්මාණ වලට වියදම් කරන්නේ සමාජයේ එකට හමුවන කුඩා පිරිසක්. එම නිසා ඔබගේ නිර්මාණ වල අමුද්‍රව්‍ය වල තත්වය, කල්පැවැත්ම පිලිබඳ සැළකිලිමත් වීම නුවණට හුරුයි.

තත්වය උසස් උනාට වියදම් වැඩියි කියා හිතනවානම්

විශේෂයෙන්ම ඔබා ආධුනිකයෙක් හෝ වානිජ වටිනාකමක් අපේක්ෂා නොකරනරනවානම් වැඩි මුදලක් වියදම් කිරීමට මැලි වනවා වෙන්න්නට පුලුවන්. ඒත් අපට මිල ගණන් කළමණාකරණය කර ගුණාත්මක දේම භාවිතා කරන්න පිළියම් කීපයක් තියෙනවා.

1. වර්ණ ගත්තොතින් බොහෝ ඉහල ගණයේ සන්නාම වල ශිල්පීය ශ්‍රේණිය (Artists’ grade) හා සිසු/මධ්‍ය ශ්‍රේණිය (Student/Mid grade) ලෙස අනු ඛාණ්ඩ දෙකක් තියෙනවා. මෙම දෙවර්ගයේම බොහෝවිට එකම වර්ණක භාවිතා උනත් සිසු/මධ්‍ය ශ්‍රේණියේ වර්ණක අඩු ගණත්වයකින් නිපදවන නිසා මිල ගණන් දැරිය හැකි මට්ටමේ තියෙනවා.

2. වර්ණ ගොඩක් එකවර නොගෙන ප්‍රාථමිල වර්ණ 3 ක් හෝ 6 ක් ගෙන මිශ්‍ර කර ඉතිරි වර්ණ හදන්න. වින්සර් ඇන්ඩ් නිව්ටන් ප්‍රාථමික වර්ණ ගැන අප ඉදිරියේදී ලිපියක් ගෙන එනවා.

3. ඔබ ආධුනිකයෙක්නම් කුඩා ප්‍රමාණයේ ටියුබ් හෝ සෙට් මිලදී ගැනීමෙන් දැරිය හැකි මිලකට හොඳ තත්වයේ පාට වර්ග අත්විඳින්න පුලුවන්.

4. අනෙක් වෙළඳසැල් වගේම චිත්‍ර අමුද්‍රව්‍ය සපයන වෙළඳසැල් විටින් විට වට්ටම් හා සේල් ආදිය දමනවා. මෙවැනි අවස්ථා ප්‍රයෝජනයට ගෙන දැරිය හැකි මිලකට අමුද්‍රව්‍ය රැස් කරන්න පුලුවන්. අනෙක බොහොමයක් අමුද්‍රව්‍ය කල් ඉකුත් වන්නේ නැති නිසා වැඩිපුර රැස් කරගත්තත් පාඩු නැහැ.

6 thoughts on “චිත්‍ර අඳින්න ඉහළ ගුණයේ අමුද්‍රව්‍ය අවශ්‍යමද?

  1. Rasika de silva says:

    වැදගත් ලිපියක්. චිත්‍ර අදින කාටත් ප්‍රයෝජනවත් කරැනු ටිකක්. ස්තුතිඉ .

    1. Editor says:

      බොහොම ස්තූතියි ඔබගේ දිරි ගැන්වීමට!

  2. Lavanya says:

    Very nice article..!

    1. Editor says:

      බොහොම ස්තූතියි ඔබගේ දිරි ගැන්වීමට!

  3. Achini Jayathunge says:

    Very valuable article thank you.

    1. Editor says:

      බොහොම ස්තූතියි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *